ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටය පැරසයිට්

ද. කොරියාවේ පැරසයිට් ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනී

by Staff writer 10-02-2020 | 11:55 AM
COLOMBO (News 1st) : ආසියාවට වැඩි ගෞරව අත්කර දෙමින් 2020 ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්විණ. ඇකඩමි හෙවත් අමෙරිකානු චලන චිත්‍ර සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදීයි. මෙම සම්මාන උළෙලෙ සැලකෙන්නේ ලොව සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සම්මාන ප්‍රදානෝත්සවය ලෙසයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියානු චිත්‍රපටයක් වන පැරසයිට් දිනාගත්තේ ඇකඩමි සම්මාන ඉතිහාසයේ වාර්තා අතරට එක්වෙමිනි. විදේශීය භාෂා චිත්‍රපටයක් ඇකඩමි සම්මාන උළෙලේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීම ඊට හේතුවයි. මීට අමතරව පැරසයිට් චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්ෂණය, විශේෂාංග අංශයේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය සහ හොඳම තිර රචනය ඇතුළු සම්මාන හතරක් දිනාගමින් උළෙලේ වැඩිම සම්මානලාභියා බවට ද පත්විය. පැරසයිට් චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොන් ජූන් හෝ වාර්තා අතරට එක්වූයේ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනූ දෙවන ආසියාතිකයා බවට පත්වෙමිනි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලැබූ සෙසු චිත්‍රපට අතර සම්මාන ත්‍රිත්වයක් ලබාගත් නයින්ටීන් සෙවන්ටීන් සහ සම්මාන දෙක බැගින් දිනාගත් ජෝකර් , ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි සහ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් යන චිත්‍රපට වේ. ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ජෝකර් චිත්‍රපටය වෙනුවෙන් ජෝකින් ෆීනික්ස් දිනාගත් අතර එහි හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ජූඩි චිත්‍රපටයේ රඟපෑ රෙනී සෙල්වගර් ය. මෙවර ඔස්කාර් සම්මාන උලෙලේ හොඳම සහය නළුවා සහ නිළියට හිමි සම්මාන බ්‍රැඩ් පිට් සහ ලෝරා ඩර්න් දිනාගත්හ. මෙය සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් ගේ ප්‍රථම ඔස්කාර් සම්මානය වන අතර ඔවුන්ට මෙම සම්මාන හිමිවුයේ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් සහ මැරේජ් ස්ටෝරි චිත්‍රපටවල ඉදිරිපත්කල රඟපෑම වෙනුවෙනි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විශේෂාංග අංශයේ සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්නේ ටෝයි ස්ටෝරි ෆෝ චිත්‍රපටයයි. එහි හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ රොකට්මෑන් චිත්‍රපටයේ ලව් මී අගේන් ෆෝ රොකට්මෑන් ගීතය වෙනුවෙන් ශ්‍රීමත් එල්ටන් ජෝන් සහ බර්නි ටෝපින් ය. ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂාංග අංශයේ හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිචෙල් ඔබාමා ගේ සමාගම නිෂ්පාදනය කළ අමෙරිකන් ෆැක්ටරි චිත්‍රපටයයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙල රසවත් කිරීමට බිලී අයිලීෂ් , ඉඩිනා මෙන්සල් ඇතුළු සුපිරි තරු රැසක් ගීත ඉදිරිපත් කළහ. බොහෝ දෙනා විස්මයට පත්කරමින් සුපිරි රැප් ගායක එමිනෙම් ඉදිරිපත් කළ ගායනයෙන් සම්මාන උළෙලේ නරඹන්නන් දැඩි ප්‍රීතියට පත්වූයේ ඔහුගේ ආගමනය පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකර නොතිබූ බැවිනි.