කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව පළමු වරට මාධ්‍යට

by Staff writer 10-02-2020 | 9:23 PM

COLOMBO (News 1st) - කොරෝනා රෝගය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිරීක්ෂණය යටතේ තව දුරටත් පසුවෙයි.

නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඒකලන ඒකකය වෙත ගියේ එම කාර්යමණ්ඩලය ඉටුකරන සුවිශේෂී මෙහෙවර පිළිබඳ සටහන් තැබීමේ අරමුණෙනි. මෙම ඒකලන ඒකකය එකිනෙකට වෙන් වූ කාමරවලින් සමන්විත අතර ඒ තුළ කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන කාන්තාව ඇතුළු විදේශික හා මෙරට රෝගීන් රැසක් ප්‍රතිකාර ලබමින් සිටී. වෛද්‍ය නිලධාරීන්, හෙද කාර්ය මණ්ඩලය මෙන්ම සුළු සේවක මණ්ඩලය ද එම හුදකලා කළ රෝගීන් සමඟ ආරක්ෂිතව කටයුතු කරන අයුරු අපට දැකගත හැකිවිය. රෝගින් සඳහා ආහාර ලබාදිම ඇතුළු ක්‍රියාවලිය ද සුරක්ෂිතව සිදු කෙරන අතර රෝගීන් රැගෙන පැමිණ ගිලන් රථ පවා ආපසු පිටකෙරෙන්නේ නිරෝදායනය කිරීමෙන් අනතුරුවයි. කොරෝනා රෝගය ආසාදිත බවට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ එකම රෝගියා වූ චීන ජාතික කාන්තාව මේ වනවිට ආසාදිත තත්ත්වයෙන් මිදී ඇතත් තවමත් ඇය නිරීක්ෂණ තත්ත්වයක පසුවෙයි. වෛදයවරයා ඇයව රෝහලින් මුදාහැරිය හැකි දිනය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ඇය දැඩිලෙස උද්දාමයට පත් වූ අයුරු අපගේ කණ්ඩායමය දැකගත හැකිවිය. චීන භාෂාව පමණක් භාවිතා කළ හැකි ඇය අප යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ මෘදුකාංගයක් භාවිත කරමිනි. රෝහල් කාර්ය මණ්ඩලය ඉතා හොඳින් තමන්ට සළකන බව ඇය අප සමග සඳහන් කළාය. දියුණු රටවල් පවා මෙම වෛරසය ඇතිකළ භීතිකාව තුළ රෝබෝවරු භාවිතා කරමින් රෝගීන් හුදකලා කළ අවස්ථාවක තමන්ට එල්ලවූ නොසළකා හැරිම්, සමාජ විරෝධතා නොතකමින් ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය මේ වනවිටත් ඉටුකරමින් සිටින ජාතික මෙහෙවරට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි!