දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරු

ඇහැලියගොඩ සහ තලංගම රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

by Staff writer 09-02-2020 | 1:14 PM

COLOMBO (News 1st) - ඇහැලියගොඩ සහ තලංගම ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව, ඊයේ රාත්‍රි 8.00ට පමණ ඇහැලියගොඩ නගරයේදී මෝටර් රථයක් යතුරුපැදියක පිටුපස ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියේය. තුවාල ලැබූ යතුරුපැදිකරු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පවසයි. කොළඹ - රත්නපුර මාර්ගයේදී අනතුර සිදුව ඇති අතර මෝටර් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මියගිය පුද්ගලයා 48 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මේ අතර, ඊයේ රාත්‍රි 11.40ට පමණ තලංගම, තලාහේන හන්දියේදී මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකු වාහනයක ගැටීමෙන් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුකළ වාහනය පලාගොස් ඇති බව ය. බත්තරමුල්ල - මාලඹේ මාර්ගයේ අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ පදිකයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා 53 හැවිරිදි හල්ග්‍රන් ඔය, රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ තැම්පත් කර තිබෙන අතර අනතුර සිදුකළ වාහනය සොයා තලංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.