සුපිරි වාහන ගෙන්වීම ගැන හිටපු ලේකම්ගෙන් නිවේදනයක්

සැප වාහන ගනුදෙනුවට තමා තරයේ විරුද්ධ වූ බව අමාත්‍යාංශ හිටපු ලේකම් කියයි

by Staff writer 08-02-2020 | 10:15 PM
COLOMBO (News 1st) : පසුගිය රජයේ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. 2016 වසර අග භාගයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධි සුඛෝපභෝගී මෝටර් රථ 58 ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියක් යටතේ ලබා දීම සඳහා රුපියල් කෝටි 243 ක් වැය කිරීමේ සූදානමක් පැවති බව බෝපගේ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. කැබිනට් අනුමැතිය හිමි වූ එම ගනුදෙනුවට තමන් විෂය භාර අමාත්‍යාංශයේ එවක සිටි ලේකම්වරයා වශයෙන් තරයේ විරුද්ධ වූ බව ද නිවේදනයේ සඳහන් ය. බෝපගේ මහතා පවසන්නේ,, සිය විරෝධය නොතකා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය එය අනුමත කර ඇති අතර මෝටර් රථ සපයන පෞද්ගලික සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් කිරීමේ වගකීම ද තමන් වෙත පවරා තිබූ බවයි. කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණක් ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති බැවින් ඊට ලේකම්වරයා වශයෙන් තමන් වහා අත්සන් කළ යුතු බව එවක සිටි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ තර්කය වූ බව ද බෝපගේ මහතා පවසනවා. එහෙත් එම ගනුදෙනුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින් දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරමින් සිටි තත්වයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් දැඩි පීඩනයක් එල්ල වුවද තමා සිය තීරණය වෙනස් නොකළ බව ද නිවේදනයේ සඳහන් ය. අවසානයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එවක ක්‍රියාත්මක වූ ආර්ථික හා කළමනාකරණ කැබිනට් කමිටුව වෙත තමන් කැඳවා අදාළ ගිවිසුමට අත්සන් කරන ලෙස හෝ තනතුරෙන් ඉවත්ව යන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා තමන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව ද බෝපගේ මහතා පවසයි. මෙම ගනුදෙනුව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළි සමාලෝචනය කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කළේ ඒ අනුව බවද නිවේදනයේ සඳහන් ය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, එම කමිටුවේ නිර්දේශවලින් පසුව අදාළ පෞද්ගලික සමාගමෙන් සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ලබා ගැනීම අත්හිටුවීමට කටයුතු කළ බවයි.