මහින්ද - මෝදි අතර හමුවක්

අගමැති මහින්ද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

by Staff writer 08-02-2020 | 1:39 PM

COLOMBO ( News 1st ) -නුදුරේදීම මෙරට සංචාරය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර සිටියේ ය.

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ආරාධනා කරනු ලැබුවේ අද පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී එම මාධ්‍ය හමුව පැවැත්විණ. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයේදී අවධාරණය කළ කරුණක් ලෙස ජාතික ආරක්ෂක මූලෝපායන් පිළිබඳ යළි සිතා බැලිය යුතු බවත්, ඊට ඉන්දියාවෙන් ලැබෙන සහයත් අගය කර සිටියේ ය. දෙරටේ ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අද පැවති සාකච්ඡාවේදී ද අවධානය යොමු කෙරිණ. ත්‍රස්ත මර්දන හා බුද්ධි අංශ හැකියාවන් ඉහළ නැංවීම උදෙසා ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවත් ඉදිරියේදී ද අඛණ්ඩව එම සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව පළමු වරට මෙරටට පැමිණි විදෙස් රාජ්‍ය නායකයා ලෙස දිවයිනට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතාට ,අග්‍රාමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළ කර සිටියේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම උදෙසා ඩොලර් මිලියන 400 ක ණයක් සහ ත්‍රස්තවාදී මර්දන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කළේ ය. පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය තුළදී ඉන්දියාව ලබාදීමට පොරොන්දු එම ණය ආධාර වැඩ සටහන පිළිබඳ පසු විපරමක් ද මෙහිදී සිදුකෙරිණ. නිපුණතා සංවර්ධනය සහ රාජ්‍ය සේවකයින්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා සහාය ලබාදෙන ලෙසද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය සහාය අපේක්ෂා කර තිබේ. මේ අතර අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ ආමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ද හමු විය.