ශෂිකලා ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

by Staff writer 07-02-2020 | 10:35 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ එළඹෙන 2020 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2003 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නා ඇය මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 98ක් ක්‍රීඩා කර තිබේ. තම ක්‍රිකට් දිවියේ ආරම්භයේ සිටම පිතිකරණය හා පන්දු ‍යැවීම යන ද්විත්වයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් සැපයීමට ශෂිකලා සිරිවර්ධන සමත් වූවා ය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ලකුණු 2000 සීමාව හා කඩුලු 100 සීමාව පසු කළ එකම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක්ව සිටීම විශේෂත්වයකි. ඇය එක්දින හා 20යි 20 තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභිනිය ද වන්නී ය. ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ස්ථානයක් දිනා ගත් ශෂිකලා සිරිවර්ධන 2014 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කාන්තා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට සමත් විය. 2013 වසරේ දී තම ක්‍රිකට් දිවියේ සාර්ථකම වසර ලෙස සටහන් කරගන්නා ඇය එම වසරේ දී එක්දින පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වු අතර එම වසරේ දී ම 20යි 20 පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඇය සමත් විය. 2013 වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුවිශේෂී වසරක් වූ අතර එම වසරේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ ශෂිකලා සිරිවර්ධනටයි. එම වසරේ දී ප්‍රබල කණ්ඩායම් වූ ඉන්දියාව හා එංගලන්තය පරාජය කරමින් ලෝකයේම අවධානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් ව්ය.