වසන්ත කරන්නාගොඩට තෙවන වරටත් සිතාසි

වසන්ත කරන්නාගොඩට තෙවන වරටත් සිතාසි

by Staff writer 07-02-2020 | 11:45 AM
COLOMBO (News 1st) : හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට වැඩබලන පොලිස්පතිවරයා සහ නාවික හමුදාපතිවරයා මාර්ගයෙන් නැවත සිතාසි යැවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය. ඒ , තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන යාම සහ ඔවුන් මරණයට පත් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළවයි. වසන්ත කරන්නාගොඩ මහතා අදත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නැවත තුන්වැනි වරටත් සිතාසි යැවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ , විත්තිකරු පදිංචිව සිටි බැද්දේගාන ප්‍රදේශය හා කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවාස වසා දමා ඇති බවයි. ඒ හේතුවෙන් අධිකරණය විසින් පෙර නිකුත් කරන ලද සිතාසි භාර දීමට නොහැකිවී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. එම කරුණු දැක්වීම සලකා බැලූ චම්පා ජානකි රාජරත්න , අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල යළි සිතාසි නිකුත් කිරිමේ නියෝගය කළේ ය. අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ , රටේ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කල මේ වන විටත් නාවික හමුදා ආරක්ෂාව යටතේ සිටින වසන්ත කරන්නාගොඩ මහතා රාජ්‍ය උත්සවවලට ප්‍රසිද්ධියේ පෙනී සිටින නමුත් ඔහු අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා සිතාසි භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට නොහැකි වීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවයි. එම නඩුව ලබන 24 වන දා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය.