by Staff writer 07-02-2020 | 10:54 PM
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් තමා දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ලබන 10 වැනිදාට පෙර හේතු දක්වන්නැයි නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව දන්වා තිබේ.
පසුගිය 23 වැනිදා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ, අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබාගෙන වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඒ, රන්ජන් රාමනායක මහතා සමග සිදුකළ දුරකථන සංවාද හේතුවෙනි.
නීතිපතිවරයා පවසන්නේ වැඩතහනමට ලක්ව සිටින ගිහාන් පිලපිටිය මහතා විසින් අසත්‍ය සාක්ෂි සැකසීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී හඬපටයේ ඇති කටහඬ පිලපිටිය මහතා ප්‍රතික්ෂේප කර නොමැති බවද නීතිපතිවරයා පවසයි.
නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ එම කරුණු සැළකිල්ලට ගෙන අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය හමුවේ සියලුදෙනාට සර්ව සාධාරණය ඉටු විය යුතු බව ඔහු යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
කිසිදු අයෙකුට කිසිදු වෙනස්කමක් හෝ විශේෂත්වයක් නොදැක්විය යුතු බවද නීතිපතිවරයා පෙන්වා දී තිබේ.