අධ්‍යාපනයේ දැඩි වෙනසක් කරනවා - ජනපති

අධ්‍යාපනයේ දැඩි වෙනසක් කරනවා - ජනපති

by Staff writer 07-02-2020 | 5:44 PM

COLOMBO ( News 1st ) - වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපාය මාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, අනාගතයේ බිහිවන දරුවන් හැකියාවෙන්, නිපුණතාවයෙන්, දැනුමෙන් සන්නද්ධ කර ඉදිරි අභියෝග හා බාධක ජයගත හැකි පිරිසක් බවට පත් කළ යුතු බව ය. දියුණුවෙමින් පවතින රටක් යන මානසිකත්වයෙන් මිදී සැබෑ දියුණුව අත්කර ගැනීමට ඒ සඳහා දැක්මක් සහ සැලැස්මක් තිබිය යුතු අතර එම දැක්ම සහ සැලැස්ම රජය සතු බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, අතීතයේදී බරපතල අභියෝග ජයගත් ජාතියක් ලෙස අනාගතයේදීත් අපට එය කළ හැකි බව ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ එකමුතුකම හා නායකත්වයක් වන අතර ගුරු කේන්ද්‍රීය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට ගමන් කිරීමේ කාලය එළැඹ ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.