සිංගප්පුරු වෙළඳ ගිවිසුම යළි සමාලෝචනයට

සිංගප්පුරු වෙළඳ ගිවිසුම යළි සමාලෝචනය කරන බව රජය ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

by Staff writer 06-02-2020 | 4:13 PM

COLOMBO (News 1st) - පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය අතර අත්සන් කර ඇති සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතීඥ නිර්මලන් විග්නේෂ්වරම් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම් දීම සළකා බැලූ විජිත් මලල්ගොඩ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ පී. පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල එම ගිවිසුම බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සළකා බැලීම ලබන ජූනි 13 වැනිදාට කල් තැබීමට නියෝග ක‍ළේය. 2018 ජනවාරි 23 වැනිදා අත්සන් කර ඇති එම ගිවිසුම මගින් රජයට සහ රටේ ජනතාවට විශාල අගතියක් සිදුව ඇති බැවින් එය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, මව්බිම ලංකා සංගමය ඇතුළු සංවිධාන 8 ක් මූලික අයිතිවාසකම් පෙත්සම් ගොනු කර තිබුණි.