හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප

by Staff writer 05-02-2020 | 11:25 AM

COLOMBO (News 1st): අප්‍රේල් 21 ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදා හැරිණි.

ඒ, ඔහු ගොනු කළ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ සළකා බැලීමෙන් අනතුරුවයි. සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදල් ඇප, රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. එම ඇපකරුවන් දෙදෙනා කොළඹ පදිංචිකරුවන් විය යුතු බවට අධිකරණය ඇප කොන්දේසියක් ද පනවනු ලැබිණි. මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිටින ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරිම හෝ බලපෑම් කිරීම විමර්ශනවලට බලපෑමක් නොකරන ලෙසට ද හේමසිරි ප්‍රනාන්දු මහතාට ඇප නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කරනු ලැබිණි. අද දින ඇප අයැදුම්පත කැඳවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියොජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මාස 4 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාට ඇප ලබා දීමට විරුද්ධ නොවන බව ය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම හේතුවෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කිරීමෙන් පසු එම නියෝගය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය. පසුගිය වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා හේමසිරි ප්‍රානාන්දු මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය නියෝග කළේ, එය සළකා බැලීමෙන් අනතුරුවයි.