පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප

පොලිස්පති පූජිත් ජයසුන්දර දැඩි කොන්දේසි පනවා ඇප මත මුදා හරී

by Staff writer 05-02-2020 | 1:17 PM

COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැඩි කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද නියෝග කළේය.

රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවන් විය යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබිණි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා නොගැනීමෙන් රාජකාරී වගකීම් පැහැර ගැනීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. ඊට අමතරව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ විනිසුරුවරයා සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙස නියෝග කළේය. ඇප ලබා ගැනීමෙන් පසු සෑම මසකට අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වාර්තා කරන ලෙසට ද එහිදී නියෝග කළේය. පැමිණිලිවලින් සිදුකරන විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් හෝ තර්ජන නොකරන ලෙස ත් විනිසුරුවරයා විසින් ඇප ලබා දීමෙන් පසු පූජිත් ජයසුන්දර මහතාට අවවාද කරනු ලැබිණි. එම සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරුවරයා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.