නොදන්වා විදුලිය කප්පාදුව ගැන ඇමති වාර්තාවක් කැඳවයි

නොදන්වා සිදු කළ විදුලිය කප්පාදුව ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි...

by Staff writer 05-02-2020 | 6:59 AM

COLOMBO (News 1st) - පූර්ව දැනුම් දීමකින් තොරව පැය දෙකහමාරක් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා තිබේ.

පෙරේදා දිනයේ මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කෙරිණි. ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හමුවේ ඇති වූ හදිසි තත්ත්වය මත එළෙස විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි. විදුලි විසන්ධි කිරීමක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යය වුව ද පෙරේදා දිනයේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැත. අමාත්‍යවරයා පවසා ඇත්තේ, කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් නොකරන බවයි. මේ අතර ණය සීමාව ඉක්මවීම හේතුවෙන් යළිත් වරක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දීම අත්හිටුවීම සම්බන්ධයෙන් යළිත් අනතුරු අඟවා තිබේ. විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය මත ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදල කඩිනමින් පියවීමට පියවරගත යුතුව ඇති බවයි. ඉන්ධන සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 86 කි. ණය ගෙවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය. වියලි කාලගුණයත් සමග ජල විදුලි උත්පාදනය ද 25% ක් දක්වා පහළ ගොස් ඇතැයි ඔහු පැවසීය.