by Sagarika Chathumali 05-02-2020 | 6:49 PM
COLOMBO (News 1st) : අන්තර්ජාලය ඔස්සේ හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී රුපියල් කෝටි 3 ක මුදලක් වංචා කිරීමට අදාළව විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අදාළ විශ්වවිද්‍යාලයේ කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිණුමකින් රුපියල් මිලියන 30ක මුදලක් වෙනත් ගිණුමකට වංචනික ලෙස බැර කර ඇති බවයි.
පසුගිය ජනවාරි 24 වන දා මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඒ ආකාරයෙන් ම අදාළ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 100ක මුදලක් විදේශිකයින් දෙදෙනෙකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට බැර කිරීමට උත්සාහ කිරීමේදී ය.
මෙම වංචාවට සම්බන්ධ විදේශිකයින් දෙදෙනා පසුගිය 3 වන දා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනා ම මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රධාන සැකකරු වංචනිකව ලබාගත් රුපියල් ලක්ෂ 16ක මුදලක් ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගිණුමක තිබීයදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබ තිබේ.
මෙම මූල්‍ය වංචාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලය මගින් කරන මුදල් ගනුදෙනු සහ බැංකු කටයුතුවලදී Username සහ password විවිධ බැංකුවල වෙබ් පිටු ඔස්සේ හුවමාරු කර ගැනීමේදී අන්තර්ජාල වෙබ් පිටුවල විශ්වසනීත්වය සහ සත්‍යතාව තහවුරු කර වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.