72 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

72 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

by Staff writer 04-02-2020 | 6:22 AM

COLOMBO ( News 1st ) - 72 වන ජාතික නිදහස් දින සැමරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙහිදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පවත්වන ආචාර පෙළපාලිය පෙරවරු 7.40 ට ආරම්භවීමට නියමිතයි. මෙම ආචාරය පෙළපාලිය සඳහා හමුදා භටයින් 3,376 ක්, නාවික හමුදා භටයින් 799 ක්, ගුවන් හමුදා භටයින් 847 ක් සහභාගි වනු ඇති. එසේම පොලිස් නිලධාරීන් 596 දෙනෙකු, විශේෂ කාර්යය බලකායේ සාමාජිකයින් 327 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක භටයින් 385 දෙනෙකු ද සහභාගිවීමට නියමිත ය. මේ අතර ''සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක්'' තේමා කර ගනිමින් පැවැත්වෙන 72 වැනි නිදහස් සමරු උළෙල වෙනුවෙන් රටවැට බැඳි රන්වැට නමින් සංදර්ශන මාලාවක් ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් අද පස්වරුවේ පැවැත්වීමට නාවික හමුදාව කටයුතු යොදා තිබේ. නාවික හමුදාව පැවසුවේ එහිදී ගාලු මුවදොර පිටියට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම්ලා ඇති නාවික හමුදාව සතු අධි තාක්‍ෂණ ගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන්, නාවික වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරනු ලබන සංදර්ශන, අංගම්පොර සංදර්ශන සහ නාවික සෙබළුන් පවත්වන තවත් බොහෝ සංදර්ශන රැසක් එහිදී පැවැත්වෙන බවයි. ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවත්වන ගුවන් යානා උත්තමාචාරය ගුවන් යානා 30 ක් යොදාගනිමින් අද දිනයේදී පැවැත්වෙනු ඇති.