කපිල චන්ද්‍රසේන ගැන නීතිපති උපදෙස්

ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳට වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති උපදෙස්

by Staff writer 03-02-2020 | 3:00 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගකර තිබේ.

නීතිපතිවරයා මෙම නියෝගය කර තිබෙන්නේ, ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ සැලකිල්ල යොමු කරමිනි. මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම සඳහා සිදු කළ ගනුදෙනුවකට අදාළව සිදු වූ අක්‍රමිකතාවක් මෙම විමර්ශනයට හේතුවේ.