by Staff writer 03-02-2020 | 7:51 AM
COLOMBO (News 1st): චීනයේ කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 350 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, කොරෝනා වෛරසයේ මූලාරම්භය වාර්තා වූ හූබෙයි පළාතෙන් නව මරණ 56 ක් වාර්තා වීමෙන් පසුවයි.
ඊයේ වනවිට චීනයේ හූබෙයි පළාතෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2,103 ක් අලුතින් වාර්තා වීමත් සමග චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සමස්තය 14,480 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් හොං කොං සරසවිය පවසන්නේ සැබෑ ලෙස චීනයේ වෛරසය ආසාදිතයන් වූවන් සංඛ්‍යාව මීට වඩා බොහෝ ඉහළ අගයක් ගනු ඇති බව ය .
වූහාන් නගරයේ පමණක් කොරෝනා වෛරසය ආසාදිතයන් 75,000කට වැඩි සංඛ්‍යාවක් සිටිනු ඇතැයි ඔවුන් මත පළ කළේය.
විදෙස් රටවලින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 150 කට වැඩි පිරිසක් පිලිබඳ මේ වනවිට වාර්තා වේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සඳහා ඉදිකළ නව රෝහල විවෘත කිරීමට චීනය සූදානම් වේ.
ඇදන් දහසකින් යුත් වූහාන් නගරයේ පිහිටි මෙම රෝහල ඉදිකර ඇත්තේ දින 8ක් තුළයි.
චීන මහ බැංකුව ඊයේ සඳහන් කළේ, වෛරසය පැතිරයාම හමුවේ බිඳවැටුණු සිය ආර්ථිකය නැංවීමට අද දින අමෙරිකානු ඩොලර් බිලියන 173 කට වැඩි මුදලක් සිය කොටස් වෙළඳපොළ වෙත යොදවන බව ය .
කොරෝනා වෛරසය වැළඳුණු අයෙකු ප්‍රථම වරට විදෙස් රටකදී ජීවිතක්ෂයට පත්වීම ඊයේ පිලිපීනයෙන් වාර්තා වීමත් සමග චීනය මේ බව ප්‍රකාශ කළේය .
රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ගේ විරෝධතා හමුවේ බිඳ වැටුණු හොංකොං දේශයේ ආර්ථිකය, චීනයේ වෛරසය පැතිරයාම හමුවේ තවදුරටත් බලපෑමට ලක්ව ඇතැයි සඳහන්.
වෛරසය පැතිරයාම හමුවේ මේ වනවිට චීනයේ වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර චීනයේ සෙසු ප්‍රධාන නගර අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර තාවකාලිකව වසා දමා තිබේ.
මේ හමුවේ ලොව රටවල් රැසක් චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටවල් තුළට ඇතුළුවීම තහනම් කිරීමටත් චීනයේ සංචාරය කළ සිය පුරවැසියන් නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර හොංකොං දේශයේ රෝහල් සේවකයන් අද සිට වැඩ වර්ජනයක නිරතවීමට සූදානම් වන්නේ චීනය සහ සිය භූමිය අතර දේශ සීමාව සම්පූර්ණයෙන්ම වසා දමන ලෙස ඉල්ලා සිටිමිනි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි එම දේශ සීමා වසාදැමීමෙන් තොරව ඉන් ඇතුළුවන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ලොව පුරා සිටින කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 2003 වසරේ පැතිරගිය සාර්ස් වෛරසය ආසාදිතයන්ටද වඩා ඉහළ ගොස් ඇති බව ය.
කෙසේ වෙතත් සාර්ස් වෛරසය තරම් මෙය මාරාන්තික වෛරසයක් නොවන බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේය.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයන් පිළිබඳ වාර්තාවන සෙසු රටවල් වන්නේ ජපානය , තායිලන්තය , සිංගප්පූරුව , දකුණු කොරියාව , ඕස්ට්‍රේලියාව , තායිවානය , මලයාසියාව , අමෙරිකාව , ජර්මනිය , වියට්නාමය , ප්‍රංශය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , කැනඩාව , ඉතාලිය , බ්‍රිතාන්‍යය , ඉන්දියාව , පිලිපීනය , රුසියාව , කාම්බෝජය , ෆින්ලන්තය , නේපාලය , ශ්‍රී ලංකාව , ස්පාඤ්ඤය සහ ස්වීඩනයයි.