චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

by Staff writer 03-02-2020 | 7:35 AM

COLOMBO (News 1st): කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය. මේ අතර කොරෝනා වෛරසය අසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරමින් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙන්නේය. මේ අතර ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසුවේ රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීර‍ය මත පතිතවීමෙන් මෙම වෛරසය ආසාදනය විය හැකි බව ය. මේ අතර මෙරට ඉදිකිරීම් සමාගම්වල සේවයේ නියුතු චීන ජාතිකයින් පසුගිය දින කිහිපය පුරා පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳුනු චීන ජාතිකයින් පිළිබඳ ලද පැමිණිලි අනුව ඔවුන් පරීක්ෂා කළ බව ය. දිවයින පුරා සිටින කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ගුවන් මගීන් පිළිබඳව විමර්ශනය කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.