ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක වත්තල ගබඩාව වටලයි

ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක ගබඩාවක් තුළ කල් ඉකුත් ආහාර ද්‍රව්‍ය ටොන් දාහත හාමාරක්

by Staff writer 02-02-2020 | 5:18 PM
COLOMBO (News 1st) : කල් ඉකුත්වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් දාහත හමාරක් වත්තල ප්‍රදේශයේ ගබඩාවකින් සොයා ගෙන තිබේ. ඒ , පාරිභෝගික කටයුතු අධිකාරිය , පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඇතිව වත්තල හැදල ප්‍රදේශයේ ගබඩාවක කල වැටලීමකදීයි. ආහාර නිෂ්පාදනය කරන සහ අවන්හල් ජාලයක් පවත්වා ගෙන යන ප්‍රධාන පෙළේ ආයතනයක් මෙලෙස වටලා තිබේ. එහිදී කල් ඉකුත්වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල් අලවමින් සිට ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. එලෙස තොරතුරු වෙනස් කරන ලද සහ කල් ඉකුත්වූ බේකරි අමුද්‍රව්‍ය , කේක් සෑදීමට භාවිත කරන ලද අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් දාහතාහාමාරක් සොයා ගෙන තිබේ. මෙම ආහාර ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 15 කි. කල් ඉකුත්වූ කස්ටඩ් පවුඩර්, පාන් සෑදීමට භාවිත කරන වෝල් කෝනර් , කේක් සැරසිලි අමුද්‍රව්‍ය , වැනිලා සහ ඇපල් බීම වර්ග සොයා ගෙන ඇති අතර එම ද්‍රව්‍ය ඉකුත් වසරේ මැයි 13 ත් දෙසැම්බර් 06 ත් අතර කාලය තුළ කල් ඉකුත්වී තිබේ. විමර්ශනවලදී හෙළීවී ඇත්තේ , අදාළ ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වා ගෙන යෑමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය අමරිකාව , ඩුබායි සහ ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළඳපොළට සහ ප්‍රධාන හෝටල්වලට සපයා ඇති බවයි. අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර භාණ්ඩ සහිත ගබඩාවට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. මෙවැනි තොරතුරු 1977 හදිසි ඇමතුම් අංකයට ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. https://www.youtube.com/watch?v=vRDlyiexNK0