සිසුන් සිය රට ගෙනා සිව්වන රාජ්‍යය ශ්‍රී ලංකාවයි

වූහාන්හි සිරවී සිටි සිසුන් සිය රට ගෙනා සිව්වන රාජ්‍යය ශ්‍රී ලංකාවයි

by Staff writer 01-02-2020 | 3:51 PM
COLOMBO (News 1st) : චීනයේ වූහාන් නගරයේ සිටි සිසුන් සිය රටට රැගෙන ගිය සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ චීන අතර පවතින උසස් මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජය කෙරෙහි චීනය තබා ඇති විශ්වාසයත් ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, බිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා යුද සහ ගුවන් හමුදා ගත් සාමුහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. වූහාන් සිට මත්තල ගුවන් තොටුපළට ළඟා වූ පිරිස අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද වේ. ඔවුන් සියලු දෙනා පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව දියතලාව යුද හමුදා මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි පැය 72 ක් වැනි කෙටි කාලයක් තුළ දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපනය කෙරුණු නේවාසික පහසුකම් සහිත සියලු අවශ්‍යතා සම්පුර්ණ ගොඩනැගිල්ලක ඔවුන් රඳවා තැබේ. යුද හමුදාවේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කණ්ඩායම් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් ද නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණයට එක්ව සිටින අතර දින 14 ක අධික්ෂණයකින් පසු සිසුන් දෙමාපියන්ට භාරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/187956092608612/