වූහාන්හි සිසුන් ගෙන ඒමට ගිය යානය චීනයට ළඟාවෙයි

Update: සිසුන් රැගෙන ඒමට ගිය යානය වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළට ළඟා වෙයි

by Staff writer 31-01-2020 | 4:24 PM
COLOMBO (News 1st) : චීනයේ වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනා රැගෙන ඒම සඳහා අද සවස දිවයිනෙන් පිටත් වූ ගුවන් යානය මේ වනවිට වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශිය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා අද පස්වරුවේ සෞඛ්‍ය, විදේශ සබඳතා, සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින්ද කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවේ ජනාධිපති කාර්යාලයේදීයි. වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට පූර්ණ කැපවීමෙන් සහය දැක් වූ සියළු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයාගේ ප්‍රසාදය හිමි වූ අතර ජනතාව ආරක්ෂා කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසද උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමට විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ගද මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වූ බවයි. වූහාන් සිට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබා දී ඔවුන් රැක බලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් වත්මන් තත්ත්වයට මුහුණ දීමට ගත යුතු පියවර පිළිබඳවද අවධානය යොමු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , චීනයේ වූහාන් සිට රැගෙන එන සිසුන් රඳවා තබන දියතලාව විශේෂ කඳවුරේ සියලු පහසුකම් මේ වන විට සම්පූර්ණ කර ඇති බවයි. සති දෙකක කාලයක් එම සිසුන් දියතලාව කඳවුරේ රදවා නිරෝධායනය කිරීමට නියමිත බව ද යුද හමුදාව පවසයි. සිසුන් රැගෙන ඒම සඳහා මෙරටින් පිටත්ව ගිය යූ එල් 1422 අංක දරණ ගුවන් යානය අද පස්වරුවේ වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.
  COLOMBO (News 1st) : නව කොරොනා වෛරසය සොයා ගැනීමෙන් පසු වසා දැමූ චීනයේ වුහාන් නගරයේ සිර වී සිටින ශ්‍රි ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා අද පස්වරුවේ ගුවන් යානයක් පිටත් කර යැවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නී ය. අප කළ විමසීමකදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකු පැවසුවේ යු එල් 1422 අංක දරණ යානය මේ වනවිට වූහාන් බලා පිටත්ව ගොස් ඇති බවයි. එම යානය පිටත් කර යවා ඇත්තේ විශේෂ පුහුණුවක් ලබාදුන් කාර්ය මණ්ඩලයක් ද සමගිනි. ලාකික සිසුන් 33 දෙනෙකු පමණ නගරයේ සිර වී සිටි අතර ඔවුන් යළි ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය චීනයේ වැඩ බලන තානාපතිවරයා හරහා පසුගිය දින කිහිපයේම සාකච්ඡා කළේ ය. සෞඛ්‍ය අමාත්‍යවරිය අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මෙම විශේෂ ගුවන් යානය මගින් අදාළ සිසුන් මෙරටට  රැගෙන ඒමට හැකිවනු ඇති බවයි. ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව විශේෂ බස් රථයකින් දියතලාවේ සකස් කර ඇති විශේෂ වෛද්‍ය ආරක්ෂණ ඒකකයට යොමු කිරීමට සැලසුම් කර තිබේ. https://www.youtube.com/watch?v=Fzl_HiXvPes