ආර්ථිකයේ කොරෝනා අභියෝගය

ආර්ථිකයේ කොරෝනා අභියෝගය

by Staff writer 31-01-2020 | 8:41 PM
COLOMBO (News 1st) : මුඛ ආවරණ පැළඳගෙන සිටියත් කොරෝනා වයිරස් උණ රෝගයේ එහෙමත් නැත්නම් වූහාන් උණ රෝගයේ ආර්ථික බලපෑමෙන් බේරෙන්න අපට, විශේෂයෙන් ලංකාවට හැකියාවක් නැහැ. මෙවැනි වසංගතවල ඓතිහාසික බලපෑම, ලෝක ආර්ථිකයට එල්ල කරන අභියෝගය සහ විශේෂයෙන් ම අපේ රටට, ලංකාවට කොරෝනා වසංගතයෙන් සිදුවිය හැකි ආර්ථික බලපෑම අපේ අවධානයට ලක්කිරීම අවශ්‍යයි. 1918, ස්පාඤ්ඤ උණ රෝගය ලෝකය පුරා පැතිරුණා. මිලියන් 500ක පිරිසකට රෝගය වැළඳුනා, එයින් මිලියන 50ක් මිය ගියා. 1957/58 කාලවකවානුවේ පැතිරී ගිය ආසියානු උණ වසංගතය පුද්ගලයන් මිලියන් 1.1කට ජීවිත අහිමි කළා. වඩා ආසන්නයේ දී ඒ කියන්නෙ 2002 – 2003 කාලය තුළ ලෝකය පුරා පුද්ගලයන් 8100කට සාර්ස් රෝගය වැළඳුනා. ඒකෙන් මියගිය පිරිස 774ක්. කොරෝනා වයිරසය වගේ ම සාර්ස් පැතිරීම පටන්ගත්තෙත් චීනය සහ හොංකොංවලින්. ප්‍රකට විශ්ලේෂක මහාචාර්ය මාක් හම්ෆ්‍රි ජෙනර් කියන විදිහට එයින් චීනයේ දළ ජාතික නිෂ්පාදනය 1.1%ත් 2.6%ත් අතර ප්‍රමාණයකින් පහළ ගියා. ලෝකය ඉන්ටර්නෙට් නිසා සම්බන්ධවෙලා තියෙනවා කියල දැන් නිතර කියවෙනවා. ඒත් අපි අමතක නොකළ යුතු යි ලෝකය වෙළෙඳපොළ නිසාත්  ජාලගත වී තිබෙන බව. ලෝක වෙළෙඳපොළ ගත්තොත් අද වන විට ඒ වෙළෙඳපොළේ දෙවන විශාලතම පංගුකරුවා බවට චීනය පත් ව තිබෙනවා. කොරෝනා වයිරස් රෝගය මතු වුණේ චීනයේ වූහාන් නගරයේ. වූහාන් කියන්නෙ කොබෙයි පළාතේ අගනුවර. ඔබ දැනටමත් අහල ඇති වූහාන් චීන ප්‍රවාහන පද්ධතියේ කේන්ද්‍රය බව. කොරෝනා වයිරසය නිසා චීන ආර්ථික වර්ධනය 0.5%ත් 1%ත් අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බව ඉන්දියා ටුඩේ සගරාවට විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ප්‍රභාෂ් කේ. දත්තා සඳහන් කළා. ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර්වලින් මැන්නොත් ඇමරිකානු ඩොලර් බිලියන 136ක් තරම් විශාලයි. සාපේක්ෂව ගත්තහම 2002- 2003 කාලවකවානුවේ සාර්ස් වසංගතයෙන් ලෝක ආර්ථිකයට වෙච්ච බලපෑම ඇමරිකානු ඩොලර් බිලියන 18ක් වුණු බව ආසියානු සංවර්ධන බැංකුවේ ඇස්තමේන්තුවල දක්වා තිබෙනවා. ඒත් සීඑන්එන් විශ්ලේෂක ෆරීඩ් සකාරියා කියන්නේ සාර්ස් රෝගයෙන් ලෝක ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 40ක් අහිමි වූ බව. මේ කොරෝනා වයිරස් රෝගය මතු වුණේ චීන අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ. ලංකාවේ වගේ ම චීන ජාතිකයනුත් ලෝකෙ කොහේ හිටියත් අලුත් අවුරුද්දට තමන්ගේ ගම් බිම්වලට එනවා. මේක යෝධ අවුරුදු ගමනක්. මේ චීන රජයේ ආයතන, පාසල් සහ කර්මාන්තශාලාවල නිවාඩු කාලය. ඒ නිවාඩුව දීර්ඝ කරන්නට චීන රජය උපදෙස් දීලා තිබෙනවා. ඒ තත්ත්වය ලෝකෙ පුරා විවිධ කර්මාන්ත මත බලපෑමක් එල්ල කරාවි. ඒ ලංකාව ඇතුළු බොහෝ රටවල් චීන අමුද්‍රව්‍ය නැතිනම් නිමිද්‍රව්‍ය මත යැපෙනවා. සාර්ස් රෝගය පැතිරුණ 2002 – 2003 කාල වකවානුවේ චීන ආර්ථිකය 10%ක තරම් වේගයකින් ඉදිරි පියවර තබමින් තිබුණා. දැන් චීනයේ ආර්ථික වර්ධනය 6%ක සීමාවට පහළ ඇවිත්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව මේ අවුරුද්දට, ඒ කියන්නේ 2020ට ලෝක ආර්ථික වර්ධනය 3.3%යි. 6%ක් තියෙන චීන ආර්ථික වර්ධනය 4.5%ට බැස්සොත් ලෝක ආර්ථිකය 0.3%කින් පහළ වැටිලා 3%නේ සීමාවට එන බව සුප්‍රකට ලෝවි ආයතනයේ විශ්ලේෂක රෝලන්ඩ් රාජා ප්‍රකාශ කරනවා. 2008 – 2009 කාලයෙන් පස්සේ ලෝක ආර්ථිකයේ වඩා ම මන්දගාමී තත්ත්වය පෙන්වන්නේ දැන්. සාර්ස් වසංගතයෙන් පස්සේ චීනය තම රටේ කර්මාන්තකරුවන්ට විවිධ සහන ලබාදුන්නා. බදු සහන ඒ අතර ප්‍රධානයි. ඒත් චීනය දැනටමත් අත්විඳින ආර්ථික වර්ධනයේ පසුබෑමත් එක්ක, ඒ මට්ටමේ සහන ලබා දීම අභියෝගාත්මක බව අන්තර්ජාතික ආර්ථිකය පිළිබඳ පීටර්සන් ආයතනය ප්‍රකාශ කරනවා. මේ පසුබිම යටතේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකයට මොනවගේ බලපෑමක් කරාවිද? ලංකාව පහුගිය කාලෙම චීන සංචාරකයන්ව අපේ රටට වැඩිපුර ඇදගන්න පිඹුරුපත් සකස් කළා. කොටින් ම චීන ජාතිකයින්ට තමන් ප්‍රියකරන චීන සිගරට් පවා ආනයනය කරන්නට ලංකා රජය යෝජනා ගෙනත් තිබුණ බව ඔබට මතක ඇති. කොරෝනා වයිරසයත් එක්ක චීන ජාතිකයෝ තමන්ගේ විදේශ සංචාර කප්පාදු කර තිබෙනවා. පහුගිය අවුරුද්දේ ලංකාවට චීන සංචාරකයෝ ලක්ෂ 3ක් විතර ආවා. මේ අවුරුද්දේ ඒ පිරිසත් අඩුවේවි. දැනටමත් ලංකාවේ ඉන්න චීන සංචාරකයන් එක්ක ගැවසීමට සෙසු සංචාරකයෝ අදිමදි කරන බව අපේ හෝටල්වලින් වාර්තාවෙනවා. මේක පැනික් තත්ත්වයක් හැටියට මතුපිටින් දකින්නට පුළුවන් වුණත් සත්කාර සංග්‍රහ ක්ෂේත්‍රයේ ඒ තත්ත්වය දැඩි සෘන බලපෑම් දීර්ඝ කාලීන වශයෙන් ඇතිකිරීමට ඉඩ කඩ තිබෙනවා. ලංකාවේ ආර්ථිකය ගොඩගන්න අපිට අත දෙන්න හිටපු ප්‍රධාන හවුල්කරු හැටියට හඳුන ගන්න පුළුවන් වෙන්නේ චීනය. ඒ සෘජු විදේශ ආයෝජන හරහා. චීන ආර්ථිකයට කොරෝනා බලපෑමක් කළොත් එය අවධානම් සහිත ආයෝජනයන් ගැන නැවත හිතන්නට චීනය පෙළඹවීමේ අවධානමක් මතු කර තිබෙනවා. ලංකාව ඇතුලේ චීන ශ්‍රමිකයන් විශාල පිරිසක් රැඳී සිටිනවා. මේ පිරිස චීන අලුත් අවුරුද්දට කොරෝනා වාර්තාවීමට පෙර තමන්ගේ ගම් බිම් බලා ගියා. හදිසි  තත්ත්වයත් එක්ක අලුත් අවුරුදු නිවාඩුව දීර්ඝ කරන්න චීන රජය තීරණය කිරීම නිසා මේ පිරිස ආපසු පැමිණීම ප්‍රමාද වේවි. ඒ නිසා ලංකාවේ විවිධ ඉදිකිරීම් ඇතුළු කටයුතුවල ඩෙඩ්ලයින් වෙනස් කරන්නට සිදුවේවි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි මාසයේ චීනයේ සංචාරය කරන්නට නියමිතව තිබුණා. ඒත් දැන් ඒ සංචාරය කල් ගිහින් තියෙනවා. චීන විදේශ ඇමති වැන් යී ජනවාරි මුල ලංකාවේ සංචාරය කළා. මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, විදුලි බලාගාර ඇතුළු ආයෝජන සඳහා ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළ දී කටයුතු සම්පාදනය කිරීමට රජය දැඩි අවධානය යොමුකර තිබුණා. එළඹෙන මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව රාජපක්ෂ රජයට චීන සහයෝගීතාවෙන් ලබා ගත හැකි වාසි ප්‍රකාශයට පත් කරන්නට කැමැත්ත තිබුණ බව තේරුම් ගැනීම අපහසු නැහැ. මේ තත්ත්වය නිසා මුඛ ආවරණ නැතිනම් ෆේස් මාස්ක්වලින් බේරන්න බැරි අභියෝගයක් ලංකාවේ ආර්ථිකයට දැනටමත් එල්ල වී තිබෙනවා. ඒ අභියෝගය සාර්ථකව කළමනාකරණය කරන්නට අපට යම් සැලසුමක් අවශ්‍යයි. ඒත් ඒ සැලසුම ඉන්දියාවෙන් ෆේස්මාස්ක් ගෙන ඒම තරම් සරල නැති බව තේරුම් ගන්න සුවිශේෂී ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. https://www.youtube.com/watch?v=xVLcajhWFZw