වෝහාරික විගණනයේ වාර්තාවල ඇමුණුම් පාර්ලිමේන්තුවට

වෝහාරික විගණනයේ වාර්තාවල ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට

by Staff writer 30-01-2020 | 6:26 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බැඳුම්කර වෝහාරික විගණනයේ වාර්තා 5කට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වනවිට පාර්ලිමේන්තුවට ලැබී ඇතැයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වෝහාරික විගණනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 5ට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මීට පෙර නොතිබූ බවයි. එම තොරතුරු සහිතව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස කථානායක කරු ජයසුරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගිය දා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි. ලක්ෂ්මන් මහතාට ලිඛිතව දන්වනු ලැබී ය. අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පූර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ම පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් පළ කළහ. මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 18 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.