by Staff writer 30-01-2020 | 9:45 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය සොයාගත් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන් මැදිහත්වන්නැයි ඔවුන්ගේ ඥාතීන් අද කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කළේ ය.
චීනයේ සිටින වැඩබලන තානාපතිවරයා පැවසුවේ, එම සිසුන් පිටතට ගැනීම සදහා තවදුරටත් චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි..
අදාළ සාකච්ඡා සාර්ථක තත්ත්වයක ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
නව කොරෝනා වෛරසය හමුවූ චීනයේ වූහාන් නගරයේ මේ වනවිට ශ්‍රී ලාංකික සිසුහු 33 දෙනෙකු පමණ සිරවී සිටිති.
මේ අතර වූහාන්වල සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ඥාතීහු කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ අද සංදේශයක් බාරදුන්හ.
වූහාන්වල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරට ගෙන්වාගත් පසුව දින 14 ක කාලයක් රඳවා තැබීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ රෝහලක් ඉදිකරමින් තිබේ.
පැය 48 ක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතයි.
චීනයේ ෂැන්හයි සහ බීජිං සිට තවත් ලාංකිකයෝ 140 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියහ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනයවී අතැයි සැක කෙරෙන 17 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ , ඊයේ සිට අද දහවල් වනවිට සැකසහිත රෝගීන් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඊයේ දිනය තුළ රෝගීන් 5 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඒ, රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වීමෙන් පසුවයි.
https://www.youtube.com/watch?v=o1tbj-BmLNY