කොරෝනා චීනය පුරා ව්‍යාප්ත වෙයි: මරණ ගණන 170යි

කොරෝනා චීනය පුරා ව්‍යාප්ත වෙයි: පුද්ගල මරණ ගණන 170ක් දක්වා ඉහළට

by Staff writer 30-01-2020 | 1:27 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය චීනයේ සෑම පළාතකම පැතිර ගොස් ඇතැයි එරට බලධාරීන් අනාවරණය කළේය.

මේ වනවිට වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ෆින්ලන්තයෙන් සහ ටිබෙට් දේශයෙන් ද ප්‍රථම වරට වෛරසය ආසාදනයවූවන් වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, චීනයෙන් පිටත විදෙස් රටවල වෛරසය පැතිරයාම සීමිතව පැවතිය ද, එය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව ය . මේ අතර මාරාන්තික කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වනු ඇතැයි අමෙරිකාව පෙන්වා දෙන්නේය . අමෙරිකාව සඳහන් කළේ, එම තත්ත්වය චීන ආර්ථිකයට ද බලපෑම් එල්ලකර ඇති අතර චීනය සමඟ ගනුදෙනු කරන රටවල් ගණනක් ඉන් බලපෑමට ලක්වනු ඇති බව ය . කොරෝනා වෛරසයේ බලපෑමෙන් මේ වසරේ මුල් කාර්තුව තුළ, සිය රටේ ආර්ථිකය සියයට එකේ සිට සියයට පහක ප්‍රතිශතයක් දක්වා පහත වැටෙනු ඇතැයි චීන රජය ඊයේ පුරෝකතනය කළේය. වෛරසය පැතිරයාම වැළැක්වීමට ව්‍යාපාරික ආයතන වසා දැමීමට චීනය පියවර ගැනීමට ඊට එක් හේතුවකි . පර්යේෂකයින් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයේ බලපෑම 2002 - 2003 වසරවල පැතිරගිය සාර්ස් වෛරසයෙන් සිදුවු බලපෑමට වඩා වැඩි වනු ඇති බව ය. මේ හේතුවෙන් කොරෝනා වෛරසයෙන් සිය ෆෙඩරල් ආර්ථිකයට වන බලපෑම පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බව ද අමෙරිකාව වැඩිදුරටත් කියා සිටියේය . මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ආසියානු කොටස් වෙලඳපොළවල කොටස් අගය, තවදුරටත් පහත වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල සහ බැඳුම්කර අගයන් ඉහළ ගොස් ඇති බව ය. ආයෝජකයින් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමට පෙළඹීම, ඊට හේතුවිය. කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ චීනයේ පිහිටි ලොව ප්‍රමුඛ පෙලේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදන ආයතන රැසක් සිය කාර්යාල වසා දැමීමට පියවර ගෙන තිබේ. ගූගල්, ස්ටාර්බක්ස්, ඇමසන්, අයිකියා නමැති ආයතන ඉන් කිහිපයකි. මයික්‍රොසොෆ්ට් ආයතනය චීනයේ සිටින සිය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ නිවසේ සිට සේවය කරන ලෙස ය . මේ හේතුවෙන් ලොව ප්‍රධාන පෙලේ ගුවන් සේවා රැසක් ද සිය චීන ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නතර කිරීමට පියවර ගැනිණි. බ්‍රිතාන්‍යය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඉන්දුනීසියාව, ඉන්දියාව යන රටවල් සහ හොංකොං දේශය එලෙස චීනයට සිය ගුවන් ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් රටවල් වේ. මේ අතර නවසීලන්තය, චීනයේ වූහාන් නුවර සිරව සිටින සිය පුරවැසියන් යළි ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යවා තිබේ. කොරෝනා වෛරසයට අනවශ්‍ය ලෙස බිය නොවන්නැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ, චීනයේ හූබෙයි පලාතේ සිරව සිටින දකුණු කොරියානුවන් 700 දෙනාගෙන් කොටසක් යළි දකුණු කොරියාවට ගෙන්වා ගැනීමට උත්සහා දරන පසුබිමකදී ය . මෙම පුද්ගලයන් රැගෙන ඒම සඳහා අද පස්වරුවේ චීනය බලා ගුවන් යානා පිටත්කර හැරීමට නියමිත ය.