චීන ජාතිකයින් පිරිසකට තර්ජනයක්

දක්ෂිණ අධිවේගයේ සේවයේ නියුතු චීන ජාතිකයින් පිරිසකට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජනයක්

by Staff writer 29-01-2020 | 6:07 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු චීන ජාතිකයින් පිරිසකට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ කසුන් මහතා තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළව එම සේවකයින් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙලෙස පැමිණිලි කර තිබෙන්නේ ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට මත්තල දක්වා කොටසේ බෙලිඅත්ත - කහවත්ත පිවිසුම් මාර්ගයේ සේවයේ නියුතුව සිටි චීන කොන්ත්‍රාත් සමාගමකට අයත් සේවක පිරිසකි. මාර්ගය ප්‍රමිතියෙන් ඉදි නොකිරීමේ සිදුවීමක් මුල්කරගෙන මන්ත්‍රීවරයා පසුගිය 27 වැනි දින මෙම සේවකයින් හමුවී සාකච්ජා කර තිබේ. සේවකයින් පොලීසියට පවසා තිබෙන්නේ අදාළ සාකච්ජාව අතරතුර තමන්ට මන්ත්‍රීවරයා තර්ජනය කළ බවයි. මේ හේතුවෙන් ඊයේ දින කොන්ත්‍රාත් සමාගමේ සේවකයින් 180 දෙනෙකු සේවයෙන් ඉවත්විය. අද බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඉදිරියේදී දෙපාර්ශවය හමුවී ගැටලුව නිරාකරණය කරගැනීමට එකඟවීමෙන් පසු සේවකයින් යළි සේවයට වාර්තා කර ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය.