අනුරාධපුරේ සිසු දරු දැරියන්ට ජල ව්‍යාපෘතියක්

අඩම්පනේ සුදර්ශන මහා විද්‍යාලයේ දරු දැරියන්ට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක්

by Staff writer 29-01-2020 | 9:58 PM

COLOMBO (News 1st) - රට පුරා පොදුජන ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම්දීමට මැදිහත් වන ගම්මැද්ද අද තව ත් ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කර තිබේ.

ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව අඩම්පනේ සුදර්ශන මහා විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ඉදිකළ පානීය ජල ව්‍යපෘතියක්. මෙම විදුහලේ දරුවන් 240 ක් පමණ අධ්‍යාපනය ලබති. නමුත් මේ දක්වා ඔවුන්ට පිරිසිදු පානීය ජලය ගැටලුවක් වී පැවතියාය. ජනාධිපති අරමුදලින් පාසලට ජල පෙරණයක් ලබාදී තිබුණ ද ඊට අවශ්‍ය ජලය ලබා ගැනීම මෙම විදුහලට හැකියාවක් ලැබී නොතිබිණි. අප වාර්තාකරු පැවසුවේ, වකුගඩු රෝගීන් බහුලව සිටීම ද ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන නිසා මෙම ගැටලුවට පිළියම් යෙදීමට දෙමව්පියන්ට ද ආර්ථික හැකියාවක් නොමැති බවයි. එම ගැටලුව හඳුනාගත් ගම්මැද්ද ක්‍රියාන්විතය අඩම්පනේ සුදර්ශන මහා විද්‍යාලයට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමට පියවර ගත්තේ ය. ගිය වසරේ නොවැම්බර් මස 28 වැනි දා වැඩ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන්නේ ගම්මැද්ද සවියයි. විදුහල් බිමේ සිට මීටර 300 ක් ඈතින් පිහිටි ප්‍රජා ජල ව්‍යාපෘතියකින් නල යොදා ජලය සම්පාදනය කර මෙම ජල ව්‍යාපෘතිය ඉදි කර තිබේ. අද උදෑසන යෙදුන සුබ මොහොතින් ජල ව්‍යාපෘතිය පාසල් දරුවන් වෙනුවෙන් විවෘත්ත කෙරුනේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙනි. විදුහලේ ස්ථාන 3 ක ජල කරාම සවි කර දරුවන්ට ජල පහසුකම් ලබා දී තිබේ. වසර ගණනාවකට පසු අඩම්පනේ සුදර්ශන මහා විද්‍යාලයට පිරිසිදු පානීය ජලය හිමි වුනේ පාසලේ අධ්‍යාපනය හදාරණ සියලු දරුවන්ගේ මුහුණුවලට සිනා කැන්දමිනි.