නීතිපතිවරයා අද කතානායක හමුවෙයි

නීතිපතිවරයා අද කතානායක හමුවෙයි

by Staff writer 28-01-2020 | 11:03 AM
COLOMBO (News 1st) : නීතිපති දප්පුල ද ලිවේරා මහතා, කතානායක කරූ ජයසුරිය මහතා හමුවීමට නියමිතව තිබේ. ඒ කතානායක කාර්යාලය කළ දැනුම් දීමකට අනුවයි. නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම හමුව සිදුවන දිනය පිළිබඳ හෝ වේලාව සඳහන් කළ නොහැකි බවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය පිළිබඳ නීතිපතිවරයා එහිදී කතානායකවරයා හමුවේ කරුණු දැක්වීමට නියමිතව තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ගත් තීරණයක් අනුවයි. එම සභාවේ සාමාජික රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, නීතිපතිවරයා නිකුත් කර ඇති නියෝගය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ, විශේෂ අවධානයට ලක්වූ බවයි. ඒ එහි සභාපති කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වූ ව්‍යවස්ථා සභා රැස්වීමේදීයි. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ලබා දී තිබූ එම නියෝගය හේතුවෙන්, මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට ඉඩකඩ ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡාවට ලක් ව ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. එහි දැක්වෙන්නේ, මෙවැනි නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තිය ගරුත්වයට ද බලපෑම් එල්ල වන බවට, ව්‍යවස්ථා සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති බවයි.