චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

by Staff writer 28-01-2020 | 7:17 AM
COLOMBO (News 1st) : චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, අද පස්වරු 5.30ට චෙන්ඩුහි සිට මෙරටට පැමිණෙන එයාර් චයිනා ගුවන් සේවයට අයත් යානායකින් ඔවුන් මෙරටට පැමිණීමට නියමිත බවයි. චෙන්ඩු නගරයේ රැඳි සිටින මෙරට සිසුන් 150 දෙනෙකු අතුරින් 60 දෙනෙකු එලෙස පැමිණෙන අතර, සෙසු පිරිස අනිද්දා පස්වරු 5.30 ට පැමිණීමට නියමිත යානයකින් මෙරටට ළඟා වනු ඇති. එම සිසුන් සඳහා සාධාරණ මිලකට ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නැයි, අදාළ ගුවන් සාමාගමෙන් ඉල්ලා ඇති බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසී ය. චීනයේ චෙන්ඩුහි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා අද පෙරවරු 9.00ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් මෙරටින් පිටත් වීමට නියමිතව තිබුණා. ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කලේ, එවැනි විශේෂ ගුවන් ගමන් සිදු නොකරන්නැයි, චීන රජය ඊයේ පස්වරුවේ දැනුම් දුන් බවයි. ඒ අනුව, අදාළ ගුවන් යානය අද පිටත්ව නොයනු ඇති. චීනයේ බීජිං, ෂැන්හායි සහ කැන්ටොන් ප්‍රදේශ වල සිටින මෙරට සිසුන් 100කට අධික පිරිසක් අද පෙරවරුවේ මෙරටට ළගා වීමට නියමිතව ඇතැයිද, ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර චීනයේ ටියැන්ජිංහි සිටි ලාංකික සිසුන් 21 දෙනෙක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියහ. මේ අතර චීනයේ අධ්‍යාපන කටයුතුවල නිරතවූ සිසුන් 204 දෙනෙකු මේ වන විට දිවයිනට පිටත්කර එවා ඇතැයි චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ.යෝගනාදන් මහතා සඳහන් කළේ ය.