කොරෝනා අසාදිත චීන කාන්තාවට බරපතළ නැහැ

කොරෝනා වෛරසය අසාදිත චීන කාන්තාවගේ තත්ත්වය බරපතළ නැහැ - සෞඛ්‍ය බලධාරීන් කියයි

by Staff writer 28-01-2020 | 7:30 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව විශේෂ ප්‍රතිකාර හා ආරක්ෂිත ක්‍රියාමාර්ග යටතේ අංගොඩ, බෝ වන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇගේ තත්ත්වය බරපතළ නොවන බවයි. චීනයේ, හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරට සංචාරයකට පැමිණ සිටි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක් උණ රෝගය උත්සන්නවීමත් සමග අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණේ පසුගිය 25 වැනි දායි. ඇයගේ රුධිර සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. කොරෝනා වෛරස ඛාණ්ඩයේම වෛරසයක් ලෙස හඳුනාගත් සාර්ස් වෛරසය ආසාදනයෙන් 2003 වසරේදී ලොව පුරා රටවල් 26 කට බලපෑම් එල්ල විණි. සාර්ස් වෛරසය හේතුවෙන් එම කාලසීමාවේ ජීවිත 700 කට ආසන්න ප්‍රමාණයක් අහිමිවිය. එම වෛරසය ලොවට අනාවරණය කරමින් ඊට ප්‍රතිකාර හඳුන්වාදුන් හොංකොං විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පැවසුවේ, නව කොරෝනා වෛරසය සාර්ස් වෛරසය තරම් බරපතළ නොවන බවයි.