පාර්ලිමේන්තුව වහා කැඳවන්න - විපක්ෂ නායක ඉල්ලයි

කොරෝනා මැඩලීමට පූර්ණ සහය, පාර්ලිමේන්තුව වහා කැඳවන්න - විපක්ෂ නායක ඉල්ලයි

by Staff writer 28-01-2020 | 8:22 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරස් අවදානම ගැන හදිසි තත්ත්වයක් සේ සලකා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව වහා කැඳවා උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කළ යුතු බව විපක්ෂ නායකවරයා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ, මෙම අවස්ථාවේදී දේශපාලන බේදයකින් තොරව රට ආරක්ෂා කරගැනීම සියලු දෙනා සතු වගකීමක් බවයි. විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් කරුණු 6 ක් යෝජනා කර තිබේ. 01. 24 පැයේ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කොට ලංකාව සෞඛ්‍යාරක්ෂිත දේශයක් කිරීම. 02. චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මූල්‍යමය රෙගුලාසි මත කටයුතු නොකර රජයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගැනීම. 03. ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම. 04. මෙරට සිටින චීන ජාතිකයින්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාවය පිළිබඳව වහාම සොයා බැලීමට රජය කටයුතු කිරීම. 05. රෝගී තත්ත්වය, ඉන් ආරක්ෂාවන ආකාරය යනාදිය පිළිබඳව සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුවත් කිරීම. 06. හදිසි අවස්ථාවයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තු කැඳවීම. එම යෝජනාවලට ඇතුළත් ය. මේ මොහොතේ ඉටුවිය යුතු සියලු වගකීම් හා මැදිහත්වීම් සිදු කිරීමට විපක්ෂය සුදානම් බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයේ අවධාරණය කර සිටි.