කොරෝනා ආසදනයෙන් මියගිය ගණන‍ 106ක් දක්වා ඉහළට

කොරෝනා ආසදනයෙන් මියගිය ගණන‍ 106ක් දක්වා ඉහළට

by Staff writer 28-01-2020 | 2:20 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව වෛරස් ආසාදිතයින් කාම්බෝජයෙන් සහ ජර්මනියෙන් ද වාර්තා වාර්තා වන බවයි. මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ දැනට චීනයේ හඳුනාගෙන ඇති කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4,515 ක් බවයි. ඒ අනුව ගත වූ පැය 24 ක කාලය තුළ වෛරසය ආසාදිතයින් 1400 ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එය සැලකෙන්නේ වෛරසය ආසාදිතයින්ගේ ප්‍රමාණය 50% ක කැපී පෙනන ඉහළ යාමක් ලෙසයි. මේ අතර බිජිං අගනුවරින් ද පළමු වරට කෝරෝනා ආසාදිතයෙකු මිය යාමේ සිද්ධියක් ගෙවුණු පැය 24 තුළ වාර්තා විය. ජාත්‍යන්තර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ගණනකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිය හැකි බවයි. චීනය තුළ වෛරසයේ පැතිරයාමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ යා හැකි බවට හොංකොං සරසවියේ පර්යේෂකයන් මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ ද මෙවන් පසුබිමකයි. වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් බහුතරයක් වයස්ගත වූවන් හෝ ශ්වසන ආබාධ පවතින පුද්ගලයන් බව සඳහන් ය. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාපතිය වැළැක්වීම සඳහා චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරේස් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබඳව පූර්ණ විශ්වාසයක් පවතින බවයි. මෙම ගැටලුකාරී තත්ත්වය ජය ගැනීමට අවශ්‍ය ඕනෑම උපකාරයක් හෝ ආධාරයක් ලබා දීමට තමන් සූදානම් බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේවෙතත්, පවතින අවදානම් සහගත බව හේතුවෙන් චීනයට අයත් හොංකොං රාජ්‍යය තුළ පිහිටි පොදු ස්ථාන රැසක් වසා දැමීමට හොංකොං බලධාරින් මේ වනවිට පියවර ගෙන තිබේ. ඊට අමතරව, හොංකොං හි සියලුම පාසල්ද ලබන 17 වැනිදා තෙක් වසා දමා ඇති අතර, චීනයේ හූබෙයි හි සංචාරය කළ පුද්ගලයන්ට හොංකොං වෙත ඇතුල් වීමද සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ අතර දකුණු කොරියාව පවසන්නේ කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවටයි. එරට වෛරසය ආසාදනය වූ හතරවැනි පුද්ගලයා පිළිබඳ වාර්තාවීම හමුවේ අස්ථාවර භාවයට පත් සිය මූල්‍ය වෙලඳපොලවල තත්ත්වය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව දකුණු කොරියානු රජය සඳහන් කළේ ය. දකුණු කොරියානු මූල්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෛරසයෙන් සිය ආර්ථිකයට වන බලපෑම අවම කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර, චීනයේ වූහන් නගරයේ සිටින සිය පුරවැසියන් 250 දෙනා කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාව ද මේ වනවිට උත්සහ කරමින් සිටී. ඒ සඳහා ඉන්දියාව බෝයිං සෙවන් ෆෝ සෙවන් ගුවන් යානයක් මේ වනවිට සූදානම් කර ඇතත්, ඔවුන්ටද වුහාන් වෙත ගොඩ බැස්සවීමට තවමත් අවසර හිමිව නොමැත. මේ වනවිට තායිලන්තය , අමෙරිකාව , ඔස්ට්‍රේලියාව , සිංගප්පූරුව , මලයාසියාව , තායිවානය , දකුණු කොරියාව , ප්‍රංශය , ජපානය , වියට්නාමය , නේපාලය , කැනඩාව , කාම්බෝජය , ශ්‍රී ලංකාව සහ ජර්මනිය යන රටවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 47 දෙනෙකු වාර්තා වී අවසන් ය . මේ අතර කොරෝනා වෛරසය සමග, ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයටත් මේ වනවිට බලපෑම් එල්ල වී අවසන් ය. චීනය තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමග, චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකාව සහ කැනඩාව මේ වනවිටත් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර තවත් රටවල් රැසක් පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණ කරමින් සිටින බව නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි. චීනයේ මුදල් ඒකකය වන යුවාන්හි අගයද මේ වනවිට සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින්නේ චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමිනි. චීනයේ ශැංහයි නුවර ව්‍යාපාරික ආයතන වෙත සේවකයන්ගේ පැමිණීම ලබන මස 10 දින තෙක් තහනම් කිරීමට ද රජය පියවර ගෙන ඇත්තේ වෛසරය පාලනය කිරිමේ තවත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. චීනය ගෝලීය ආර්ථික වර්ධනය මෙහෙයවීමේ ප්‍රමුඛයෙක් වන පසුබිමක, පවතින තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට දැඩි බලපෑමක් එල්ලකරමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොරෝනා වෛරසය පැතිරයාමේ ශීඝ්‍රතාවය වැඩිවීම හමුවේ ආසියානු කොටස් ළඳපොළවල කොටස් අගය, අඛණ්ඩව දෙවන දිනයටත් පහත වැටීම ඊට කදිම සාක්ෂියකි. දකුණු කොරියාව තුළ වෛරසය ආසාදනය වූ සිව්වන පුද්ගලයාත් මේ වනවිට වාර්තා වීමත් සමග එරට මූල්‍ය වෙළඳපොළෙහිද මේ වනවිට අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය.