රෝගීන්ට කොරෝනා ආසාදනය වී නැති බව තවදුරටත් තහවුරුයි

රෝගීන්ට කොරෝනා ආසාදනය වී නැති බව තවදුරටත් තහවුරුයි

by Staff writer 27-01-2020 | 11:36 AM
COLOMBO (News 1st): කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර සිටි රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අවසන් පරික්ෂණ වාර්තාවෙන් ද තහවුරු වී තිබේ. කෙසේවෙතත්, කොරෝනා වෛරසය රටට ඇතුළුවීම හා ව්‍යාප්තිය වැළැක්වීමට සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මෙරටදී ආරම්භ කළ විශේෂ පරීක්ෂණයක් හරහා යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ද යන්න පිළිබඳව සාර්ථකව නිගමනය කිරීමට මේ වන විට හැකියාව පවතින බවයි. වූහාන් පළාතේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිස අද හෝ හෙට ශ්‍රී ලංකාවට එවීම සඳහා කටයුතු කරමින් ඇතැයි චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ.යෝගනාදන් මහතා පැවසී ය. ඔහු පැවසුවේ චීනයට සංචාරයකට හෝ රැකියා සඳහා පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් ද අවශ්‍ය වුවහොත් දිවයිනට එවීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි. මේ අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ චිනයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් පිළිබඳ දත්ත රැස් කරමින් පවතින බවයි. මේ අතර බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් නගරයේ ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා අවසර ඉල්ලා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, තානාපති කාර්යාලය, චීන විදේශ අමාත්‍යංශය හා වුහාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය සමඟ සමීපව කටයුතු කරමින් යානය ගොඩබෑමේ අවසරය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු විමසීම සඳහා තානාපති කාර්යාලය මගින් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක් ද හඳුන්වාදී තිබේ. 0086 10 65 32 18 61 හෝ 0086 10 65 32 18 62 එම දුරකථන අංකයි. මේ අතර චීනයේ සිට පැමිණෙන සියලුම මගීන් විශේෂ පර්යන්තයක් හරහා ගුවන් තොටුපාළට ඇතුළු කර ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය පැවසුවේ, එම මගීන් විශේෂ පර්යන්තයක් ඔස්සේ පරීක්ෂාවට ලක්කර පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බවයි. කොරෝනා වෛරසය මෙරටට පැමිණිම වැළැක්වීමේ අරමුණින් එම පියවර ගෙන ඇති අතර ගුවන් තොටුපළේ සියලුම කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ පළඳින ලෙස උපදෙස් දී ඇතැයි ද සෞඛ්‍ය අංශ පැවසී ය. මේ අතර චීනයේ සිට පැමිණෙන සියලුම මගීන් විශේෂ පර්යන්තයක් හරහා ගුවන් තොටුපාළට ඇතුළු කර ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය පැවසුවේ, එම මගීන් විශේෂ පර්යන්තයක් ඔස්සේ පරීක්ෂාවට ලක්කර පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බවයි. කොරෝනා වෛරසය මෙරටට පැමිණිම වැළැක්වීමේ අරමුණින් එම පියවර ගෙන ඇති අතර ගුවන් තොටුපළේ සියලුම කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ පළඳින ලෙස උපදෙස් දී ඇතැයි ද සෞඛ්‍ය අංශ පැවසී ය.