රියදුරු බලපත්‍රයට කාලය වෙන්කිරීම ඔන්ලයින් ඔස්සේ

රියදුරු බලපත්‍රයට කාලය වෙන්කිරීම අද සිට ඔන්ලයින් ඔස්සේ

by Staff writer 27-01-2020 | 6:39 AM
COLOMBO (News 1st) : අද සිට රියදුරු බලපත්‍රය සඳහා වන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව දිනය හා වේලාව, ඔන්ලයින් ක්‍රමයට වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පවසයි. ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් හඳුන්වා දෙන ලද මෙම අන්තර්ජාල යෙදවුම පසුගිය සිකුරාදා සිට පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කෙරිණ. එම කටයුතු සාර්ථක වූ බැවින් අද සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ඇති. පෙර පැවති ක්‍රමයට අනුව දුර බැහැර සිට මහජනතාවට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ දිනය හා වේලාව වෙන් කරවා ගැනීමට සිදුවිය. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතනවලින් ලබා දෙන මහජන සේවාවන් කාර්යක්කෂම කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව නිවේදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ ය. මීට අමතරව දිනය හා වේලාව, වෙන් කර ගැනීමට ජංගම දුරකතන සඳහා ද මොබයිල් ඇප් යෙදවුමක් ඉදිරි සති දෙක තුළ හඳුන්වා දෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.