කරන්නාගොඩ හා දසනායකගේ නඩු විභාග පිළිබඳ දැනුම්දීමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ විමර්ශන අවසන් වනතෙක් කරන්නාගොඩ සහ දසනායකගේ නඩුව අත්හිටුවන්නැයි දැනුම්දීමක්

by Staff writer 27-01-2020 | 5:16 PM

COLOMBO (News 1st) - නාවික හමුදාවේ විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩි.කේ.පි දසනායක මහත්වරුන්ට එරෙහි නඩු විභාග තම විමර්ශන අවසන් වන තෙක් අත්හිටුවන්නැයි දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

එම කොමිසන් සභාව නීතිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙන්නේ අදාළ නඩුව මහාධිකරණයේ පවත්වාගෙන යාම සම්බන්ධව කිසිදු කටයුත්තක් නීතිපතිවරයා හෝ ඔහුගේ බලය ලත් නිලධාරියෙකු විසින් සිදු නොකළ යුතු බවයි. කොමිෂන් සභාව ඒකමතිකව මෙම තීරණයට එළඹි බව ද එම කොමිසම නිකුත් කළ නිවේදයේ සඳහන් ය. එම නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන පළිගැනිම් සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ හා ඩි.කේ.පි දසනායක යන මහත්වරුන්ගෙන් කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි. පැමිණිලිකරුවන් දේශපාලන බලපෑම් මත නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයේ පේනි සිටින්නේ ද යන්න පිළිබඳ විමර්ශනය කර තීරණය කරන තෙක් එම නඩුව පවත්වාගෙන යාම නුසුදුසු බවටත්, නඩුව පවත්වාගෙන යාම නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබුව හොත් ඉන් පැමිණිලිකරුවන්ට අගතියක් සිදුවන බවට කොමිසන් සභාව දැඩි අවධානයට ලක්කර ඇතැයි ද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. 2015 ජනවාරි 8 වන දා සිට 2019 නොවැම්බර් 16 වන දින කාලය තුළ සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරනු ලැබුවේ ය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතායි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සමාජිකයින් වේ.