චීනයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරන නෞකාවක සිටින නාවිකයින් 6 දෙනෙකුට උණ

by Staff writer 27-01-2020 | 4:04 PM

COLOMBO (News 1st) - චීනයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරන වෙළෙඳ නෞකාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික නාවිකයින් 6 දෙනෙකුට උණ රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා වෙළෙඳ නාවිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති පාලිත අතුකෝරල මහතා පැවසුවේ, සී.එම්.ඒ. - සී.ජී.එම් ඌරල් නැමැති නෞකාවේ සේවය කරන ශ්‍රී ලාංකයින් 6 දෙනෙකු එළෙස රෝගාතුර වී ඇති බවයි. චන්ද්‍රිකා දත්ත සටහන්වලට අනුව මෙම නෞකාව දින 5 කට වැඩි ගණනක් චීනයේ වරාය 3 ක නැංගුරම්ලා තිබේ. පසුගිය 11 වෙනි දා චීනයේ නින්ග්බෝ වරායෙත්, පසුගිය 13 වෙනි දා ෂියාමෙන් වරායෙත් අනතුරුව ෂෙකොවූ වරායෙත් නැංගුරම්ලා ඇති ඌරල් නෞකාව පසුගිය 18 වෙනි දා සිංගප්පුරුවට පැමිණ තිබේ. නෞකාව නැංගුරම්ලා තිබූ මෙම වරායන් සියල්ලම නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයට ආසන්නම වරායන් ලෙස හඳුනාගත හැකි අතර නින්ග්බෝ වරායට වූහාන් සිට ඇත්තේ කිලෝමීටර් 922 ක දුරකි. අද පෙරවරුවේ එම නෞකාව ශ්‍රී ලංකාවේ ගාල්ලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ අතර ලබන 30 වෙනි දා එය ඊජිප්තුවට ළඟාවීමට නියමිතයි.