චීනයෙන් එන මගීන් කටුනායකදී විශේෂ පරීක්ෂාවකට

චීනයෙන් එන මගීන් විශේෂ පර්යන්තයකින් ගුවන් තොටුපොළට ඇතුළු කර ගැනීමට පියවර

by Staff writer 27-01-2020 | 1:23 PM
COLOMBO (News 1st) : චීනයේ සිට පැමිණෙන සියලුම මගීන් විශේෂ පර්යන්තයක් හරහා ගුවන් තොටුපොළට ඇතුළු කර ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සෞඛ්‍ය අංශය පැවසුවේ, එම මගීන් විශේෂ පර්යන්තයක් ඔස්සේ පරීක්ෂාවට ලක්කර පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බවයි. කොරෝනා වෛරසය මෙරටට පැමිණිම වැළැක්වීමේ අරමුණින් එම පියවර ගෙන ඇති අතර ගුවන් තොටුපළේ සියලුම කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ පළඳින ලෙස උපදෙස් දී ඇතැයිද සෞඛ්‍ය අංශ පැවසී ය. මේ අතර කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මෙරටදී ආරම්භ කළ විශේෂ පරීක්ෂණයක් හරහා යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති ද යන්න පිළිබඳව සාර්ථකව නිගමනය කිරීමට මේ වන විට හැකියාව පවතින බවයි. මේ අතර, ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. අදාළ කමිටුව ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ , සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත වන අතර, සෙසු සාමාජිකයෝ 12 දෙනෙක් ද ඊට අයත් වෙති. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කෙරුණු චීන ජාතික කාන්තාවන්ට දෙදෙනාට සහ ශ්‍රී ලාංකික තරුණියට එම වෛරසය වැළඳී නැති බව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි ජාතික වෛද්‍ය පර්යේෂණායතයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා නිවුස් ෆස්ට් කළ විමසීමකදී පැවසී ය. මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ පැවසුවේ, කටුනායක ගුවන් තොටුපළේදී හඳුනාගත් උණ වැළඳී පැමිණී පාකිස්ථාන හා ඉන්දුනිසියානු ජාතිකයින් දෙදෙනෙකුද ඊයේ පස්වරුවේ රෝහල්ගත කළ බවයි. වූහාන් පළාතේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිස අද හෝ හෙට ශ්‍රී ලංකාවට එවීම සඳහා කටයුතු කරමින් ඇතැයි චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ.යෝගනාදන් මහතා පැවසී ය. ඔහු පැවසුවේ, චීනයට සංචාරයකට හෝ රැකියා සඳහා පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට ද අවශ්‍ය වුවහොත් දිවයිනට එවීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි. මේ අතර විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ, චිනයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් පිළිබඳ දත්ත රැස් කරමින් පවතින බවයි. රෝග නිරීක්ෂණය සඳහා වෛද්‍ය උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගුවන් මගින් ඒවා ගෙන්වා ගැනීම සඳහා උපදෙස් ලැබී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. මේ අතර බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් නගරයේ ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා අවසර ඉල්ලා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, තානාපති කාර්යාලය, චීන විදේශ අමාත්‍යංශය හා වුහාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය සමඟ සමීපව කටයුතු කරමින් යානය ගොඩබෑමේ අවසරය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. දැනට චීනයේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තානාපති කාර්යාලය සහ කොන්සියුලර් ජනරාල්වරු ශ්‍රී ලංකා ගුවන් සේවය සමඟ කටයුතු කරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර නව කොරෝනා වෛරසය, ආසාදිත පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ මතුවීමට පෙර එම ආසාදිතයාගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි බව චීන සෞඛ්‍ය අමාත්‍ය මා-ක්සියෝවෙයි මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.