අමෙරිකාවෙන් තවත් කොරෝනා අසාදිතයින් 5ක් හමුවෙයි

අමෙරිකාවෙන් තවත් කොරෝනා අසාදිතයින් 5ක් හමුවෙයි

by Staff writer 27-01-2020 | 7:20 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට 56 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර අමෙරිකාවෙන් එම වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගැනිණ. මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව , තායිවානය , තායිලන්තය , අමෙරිකාව , වියට්නාමය , කැනඩාව යන රටවල් මෙන්ම හොං කොං දේශය දක්වා පැතිර ගොස් තිබේ. එම වෛරසය ආසාදනයවූවන් පස් දෙනෙකු ඇමෙරිකාවෙන් සොයා ගැනුණු අතර බලධාරින් පවසන්නේ ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය බවයි. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ෆීනික්ස්, චිකාගෝ සහ සියැට්ල් ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් පිලිබඳ වාර්තාවිය. වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකපළ වන දහසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ ය. මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2684 දෙනෙකු එය ආසාදනය වී ඇතැයි සැක පළ වේ. මේ අතර කොරෝනා වෛරසය, ආසාදිත පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ මතුවීමට පෙර එම ආසාදිතයාගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි බව චීන සෞඛ්‍ය අමාත්‍ය මා-ක්සියෝවෙයි මහතා ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ ය. ඔවුන් පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම අතිශය දුෂ්කර බවයි . මේ අනුව මිනිසකුට මෙම වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14 ක උපරිමයක් දක්වා කාලයක් ගතවන බව සඳහන් ය. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් තොරව පුද්ගලයකුට තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි දැනගැනීමට නොහැකි නමුත් ඔවුන්ට එම වෛරසය පැතිරවීමේ හැකියාව පවතී. සාර්ස් සහ ඉබෝලා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට එය පැතිරවීමට හැකියාව ලැබුණේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන විටයි. එවැනි රෝග මේ හේතුවෙන් වැළැක්වීමට පහසු නමුත් කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම මේ හමුවේ දුෂ්කර වී තිබේ. මෙයට නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැත. මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ චීනයේ ලූනා නව වසර වෙනුවෙන් ලබාදුන් නිවාඩු දීර්ඝ කිරීමට චීනය පියවර ගෙන තිබේ.