විනිසුරු තිළිණ ගමගේට එරෙහි නඩුවට තහනම් නියෝගයක්

විනිසුරු තිළිණ ගමගේට එරෙහි නඩුව අද සහ හෙට විභාගයට ගැනීම වළක්වමින් තහනම් නියෝගයක්

by Staff writer 27-01-2020 | 5:24 PM

COLOMBO (News 1st) - මේ වනවිට සේවය අත්හිටුවා ඇති මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිවිරෝධි අන්දමින් අලි පැටවකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පවරා ඇති නඩුව අද සහ හෙට විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

තිළිණ ගමගේ මහතා විසින් ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලු මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් එම නඩුව විත්තියට අගතිගාමි ලෙස විභාගයට ගනිමින් සිටිනා බැවින් වෙනත් මහාධිකරණයකට යොමු කරනා ලෙස ඉල්ලා අධිකරණ සංවිධාන පනතේ 46 වන වගන්තිය යටතේ තිළිණ ගමගේ මහතා එම පෙත්සම ගොනු කර තිබුණි. පෙත්සම්කරු ඉල්ලා ඇති පරිදි අතුරුතහනම් නියෝගය ලබාදීම සම්බන්ධයෙන් ලබන 29 සලකා බැලීමට විනිසුරුමඩුල්ල තීරණය කළේ ය. මේ අතර මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ලබන 3 වැනි දා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබේ.