නීතිපති දුන් නියෝගය ගැන ව්‍යවස්ථා සභාවේ අවධානයට

විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපති දුන් නියෝගය ගැන ව්‍යවස්ථා සභාවේ අවධානයට

by Staff writer 26-01-2020 | 7:18 PM
COLOMBO (News 1st) : මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, නීතිපතිවරයා නිකුත් කර ඇති නියෝගය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ, විශේෂ අවධානයට ලක්ව තිබේ. ඒ එහි සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා රැස්වූ ව්‍යවස්ථා සභා රැස්වීමේදීයි. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ලබා දී තිබූ එම නියෝගය හේතුවෙන්, මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට ඉඩකඩ ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදි සාකච්ඡාවට ලක් ව ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් පවසයි. එහි දැක්වෙන්නේ, මෙවැනි නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තිය ගරුත්වයට ද බලපෑම් එල්ල වන බවට ද ව්‍යවස්ථා සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවට ද එහිදී තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ආර්. සම්බන්ධන්, මහින්ද සමරසිංහ , තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් මෙන්ම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයින් වන නීතිඥ ජාවුඩ් යුසුෆ් සහ එන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද සහභාගී වි තිබේ.