සිව්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නැහැ

රුධිර සාම්පල පරීක්ෂා කළ සිව්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නැහැ

by Staff writer 26-01-2020 | 10:42 AM

COLOMBO (News 1st) - බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් 4 දෙනෙකුගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් අදාළ රුධිර සාම්පල යොමු කර තිබූ බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව ඔහු පැවසුවේ ය. මේ වනවිට මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේ ය. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සිව්දෙනෙකු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබති. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා සඳහන් කළේ, චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි. ඊට අමතරව ලාංකික කාන්තාවක් සහ තව ත් පිරිමි අයෙකු එලෙස ප්‍රතිකාර ලබන පිරිසට අයත් වේ. ඔවුන් විශේෂ ඒකකයක රඳවා ඇතැයි වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අදාළ රෝගය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් කරමින් පවතින බවයි.