කොරෝනා තවදුරටත් ශීඝ්‍රයෙන් පැතිර යන ලකුණු

කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙනු ඇතැයි චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

by Staff writer 26-01-2020 | 6:18 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගොස් ඇති සංඛ්‍යාව 56කි. පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රටපුරා සත්ත්ව අලෙවිය තහනම් කිරීමට ද චීනය පියවර ගෙන තිබේ. මේ අනුව එරට වෙළඳසල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා ඔස්සේ සත්ත්ව අලෙවිය තහනම් වනු ඇති. සතුන් ඇති කරන ස්ථාන හුදෙකලා කර, සතුන් සිටින ස්ථානවල සිට සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු අද සිට තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගනු ලැබී ය. කොරෝනා වෛරසය, චීනයේ සත්ත්ව අලෙවිසැලකින් පැතිරෙන්නට ඇතැයි සැක පළවෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට තායිලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ අමෙරිකාවෙන් ද කොරෝනා වෛරසය ආසාදිතයින් හමුවී ඇති බවයි. 2002 - 2003 කාලසීමාව තුළ චීනයෙන් ආරම්භ වී පැතිර ගිය සාර්ස් වෛරසය හේතුවෙන් ලොව පුරා පුද්ගලයෝ 800 ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.