චීනය දැඩි අවදානමක

කොරෝනා වෛසරය සීඝ්‍රයෙන් පැතිරයාමෙන් චීනය දැඩි අවදානමක

by Staff writer 26-01-2020 | 8:15 AM

News 1st - කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් චීනයේ දැඩි අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි එරට ජනාධිපති ෂි ජින්පිං අවධාරණය කර තිබේ.

ඒ, එම වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 42 ක් දක්වා ඉහළගොස් ඇති පසුබිමකදීය. මේ වනවිට චීනය ඇතුළු ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1400 ඉක්මවති. ඔස්ට්‍රේලියාවෙන් සහ මලයාසියාවෙන් එම වෛරසය ආසාදනය වූ 8 දෙනෙකු වාර්තා විය. යුරෝපයේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ ප්‍රංශයෙනි. කැනඩාවෙන් ද පළමු වරට කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ. කැනඩා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම පුද්ගලයා චීනයේ වූහන් නගරයේ සිට පැමිණි බවයි. වෛරසය පැතිරයාම හමුවේ හොංකොං දේශය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ චීනය සමග පැවති ප්‍රවාහන සබඳතා ද අවහිර කරමිනි. ඒ, වෛරසය ආසාදනය වූවන් 5 දෙනෙකු වාර්තාවීමෙන් අනතුරුවයි. මේ හේතුවෙන් ලූනා නව වසර වෙනුවෙන් නිවාඩු ලබාදුන් හොංකොං පාසල් ලබන මස 17 වන දා දක්වා වසා තැබීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. චීනය ද එරට ප්‍රවාහන කටයුතු සඳහා පැන වූ නීති දැඩි කළේ ය. අමෙරිකාව සඳහන් කළේ, චීනයේ වූහන් නගරයේ සිරව සිටින සිය පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යළි ගෙන්වා ගැනීමට අද ගුවන් යානයක් පිටත්කර යවන බවයි. මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සනිටුහන් වූයේ චීනයේ වූහන් නගරයෙනි. මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වී ඇති රටවල් වන්නේ තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, තායිවානය, නේපාලය සහ අමෙරිකාවයි.