වෝහාරික විගණනයෙන් හෙළි වූ ඥාතී සංග්‍රහය

වෝහාරික විගණනයෙන් හෙළි වූ ඥාතී සංග්‍රහය

by Staff writer 25-01-2020 | 7:10 PM
COLOMBO (News 1st) : 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වෝහාරික විගණන වාර්තා 05ක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. එහි 05 වන වාර්තාවෙන්, මහ බැංකුවේ හිටපු සහ දැනට සිටින නිලධාරින් හා බැඳුම්කර ප්‍රාථමික ගැනුම්කරුවන් අතර පවත්වාගෙන යන සම්බන්ධතා හා ලැදියාවන් අතර ගැටුම පෙන්නුම් කර තිබේ. එය මහ බැංකු අධිපති ධූරය දැරූ පුද්ගලයන්ගේ සිට පහළම සේවකයා දක්වා ව්‍යාප්තවූ ජාලයක් බව ද අදාළ වාර්තාවේ සඳහන් ය. ඊට එක් උදාහරණයක් වන්නේ, මහ බැංකුවේ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සිය සේවය අවසන් කිරීමෙන් පසු, ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ආයතනවල තනතුරු හෙබවීමයි. ඊට අමතරව, ඔවුන්ගේ ඥාතීන් ද ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ආයතනවල ඉහළ තනතුරු හොබවා ඇතැයි, වෝහාරික විගණන වාර්තාව සාක්ෂි සහිතව සනාථ කර තිබේ. හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, අර්ජුන් මහේන්ද්‍රන් යන අයගේ ඥාතීන් ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ආයතනවල අධ්‍යක්ෂ ධූර වැනි ඉහළ තනතුරු හොබවා ඇතැයි ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. ආයතනික නිසි ක්‍රියාමාර්ග උල්ලංඝනය කරමින්, සිය පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගැන සිතා දශක දෙකකට ආසන්න කාලයක් පුරා රටේ ජනතාවගේ බිලියන ගණනක් මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකියන්නේ කවුද.?