ඇන්ජෙලෝ මැතිව්ස් සුපිරි 20 දෙනා අතරට

මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට

by Staff writer 25-01-2020 | 9:31 AM

COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි සුපිරි 20 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් එහි 16 වන ස්ථානය දක්වා ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග නිමාවට පත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇති බව සඳහන් ය. නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව මැතිව්ස්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 669 ක්. ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 30 වන ස්ථානයේ සිට 26 වන ස්ථානය දක්වාත්, ධනංජය ද සිල්වා 39 වන ස්ථානයේ සිට 37 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇත. නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ සුරංග ලක්මාල් 36 වන ස්ථානයේ සිට 22 වන ස්ථානය දක්වාත්, ළහිරු කුමාර 32 වන ස්ථානයේ සිට 30 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයකි.