අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

අජිත් ප්‍රසන්න ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 24-01-2020 | 7:06 PM

COLOMBO (News 1st): විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සම්බන්ධයෙන් සහ ඔහුගේ නඩු තීන්දු විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැනිණි. මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ විභාගවන හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සහ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මීට පෙර විභාග කළ නඩු මාධ්‍ය හමුවේ විවේචනය කිරීමෙන් අජිත් ප්‍රසන්න මහතා අධිකරණයට අපහාසයක් කර ඇතැයි පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් මූලික පරික්ෂණ සිදුකළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය. මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, සැකකරු මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අනුව යුක්තිය ඉෂ්ඨ කිරීමට අයුතු ලෙස බලපෑම් කර ඇති බව පෙනී යන බැවින් ඔහු එමගින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පෙනී යන බව ය. සැකකරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට විනිසුරුවරයා නියෝග කළේය. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් සැකකරු මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ කිහිපයක් පිළිබඳව අධිකරණයට ලිඛිතව හා වාචිකව කරුණු දක්වනු ලැබිණි. එම ප්‍රකාශ මගින් සමස්ත අධිකරණ පද්ධතියේම ස්වාධීනත්වයට මෙන්ම ගෞරවයට දැඩි හානියක් වී ඇති බව පෙන්වා දුන් ජනක බණ්ඩාර මහතා සැකකරු ඇප මත මුදා හැරීමෙන් විමර්ශනවලට සහ සාක්ෂිවලට බලපෑම් එල්ල විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ අතර තවත් නඩුවකට අදාලළව අජිත් ප්‍රසන්න මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන නඩුව පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා සාක්ෂිකරුවන්ට බලපෑම් වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙනි.