හිටපු ඇමති රිෂාඩ්ගේ සොහොයුරා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 23-01-2020 | 3:42 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රිෆ්ඛාන් බදියුදීන් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අන්සතු ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කොට අත්පත්කර වෙනත් පාර්ශවයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකාර රිෆ්ඛාන් බද්යුදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. සැකකරු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකාර රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. තම අධිකරණය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව විමර්ශන නිලධාරීන් පසුගිය 9 වනදා ඔහු පදිංචි නිවසට ගොස් ඇති නමුත් ඔහු එම ප්‍රදේශය මග හැර ,ජංගම දුරකතනය ද විසන්ධි කොට සැඟවී සිටින බවට විමර්ශන නිලධාරීන් වාර්තා කර තිබිණ. ඒ අනුව ඔහුව ඇප මත මුදාහැරීමෙන් විමර්ශන කටයුතුවලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බව තම අධිකරණයට පෙනී යන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රිෆ්කාන් බද්යුදීන් නමැත්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.