ශ්‍රී ලංකාව 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකාව 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට

by Staff writer 23-01-2020 | 12:53 PM

COLOMBO (News 1st): වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් නවසීලන්තය කඩුලු 3කින් ජය ගත්තේය.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ දෙවැනි වටය සඳහා පිවිසීමේ අවස්ථාව අහිමි විය. දකුණු අප්‍රිකාවේ, බ්ලූම්ෆොන්ටයින්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 23ක් රැස් කළේය. කමිල් මිශාර ලකුණු 21ක් රැස් කළ අතර තවිෂ කහදූවආරච්චි ලකුණු 25ක් ලබා ගත්තේය. රවිදු රසන්ත ලකුණු 29ක් රැස් කළේය. සොනාල් දිනූෂ ලකුණු 46ක් රැස් කළේ 4 පහර 4ක්ද සමගිනි. වේගවත් පිතිහරඹයක නිරත වූ අහන් වික්‍රමසිංහ පන්දු 48කින් ලකුණු 64ක් රැස් කළේය. ආදිත්‍ය අශෝක් ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තේය. ක්‍රිස්ටියන් ක්ලාර්ක් සහ ජෙසී තෂ්කොෆ් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය. පන්දුවාර 50 අවසානයෙදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 242කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු රයිස් මරියූ ලකුණු 86ක් රැස් කළේය. හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. බෙකම් ග්‍රීනෝල් ලකුණු 80ක් රැස් කළ අතර ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් ය. සුදීෂ තිලකරත්න ලකුණු 52ට කඩුලු 2ක් දවා ගත්තේය. අවසන් පන්දුවාරයේදී නවසීලන්තයට ලකුණු 12ක් අවශ්‍ය වූ අතර තරගය අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණු සීමාව පසු කිරීමට නවසීලන්තය සමත් විය. තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකම පරාජය වීම නිසා එම කාණ්ඩයේ අවසන් ස්ථානයේ රැඳී සිටී. සහභාගී වූ තරග දෙකම ජයගත් ඉන්දියාව A කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින අතර එක් තරගයක් ජය ගත් නවසීලන්තයට එහි දෙවැනි ස්ථානය හිමිව තිබේ. තුන්වැනි ස්ථානයේ රැඳී සිටින ජපානයට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේ අවසන් තරගයට එක්වීමට නියමිත ය. කෙසේ නමුත් එම තරගයේ ජය ගැනීමට සමත් වුවද තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමට එය ප්‍රමාණවත් වන්නේ නැත.