යෝජනා රැසකට කැබිනට් අනුමැතිය

යෝජනා රැසකට කැබිනට් අනුමැතිය

by Staff writer 23-01-2020 | 5:42 PM
COLOMBO (News 1st) : වී සඳහා සහතික මිලක් නියම කිරීම, අයවැය ඉදිරිපත් කිරීම, නව ආයෝජන ව්‍යාපෘති ඇතුළු යෝජනා රැසකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවට අනුව මෙවර මහ කන්නයේ ප්‍රමිතියෙන් යුත් සම්බා වී කිලෝ ග්‍රෑම් 1ක් සඳහා නියමකර ඇති සහතික මිල රුපියල් 50කි. ජලය සහිත වී කිලෝග්‍රෑම් එකක සහතික මිල රුපියල් 45කි. මහ කන්නයේ වී අස්වනු නෙළීම මේවනවිට සිදුවන අතර මෙවර අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3කි. ප්‍රතිපත්තියක් ලෙස පිටරටින් සහල් ආනයනය නොකිරීම නිසා මිල ගණන් තරමක් ඉහළ ගිය ද එමගින් ඩොලර් මිලියන 100 ක පමණ විදේශ විනිමය ඉතිරිවන බව රජය පෙන්වා දෙයි. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබුණේ, තෙතමනය පිළිබඳව නිර්නායක සැලකිල්ලට ගෙන සම්බා වී කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රුපියල් 50 ක අවම සහතික මිලක් නියම කළ යුතු බවයි. සහතික මිලට වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට 8% ක සහන පොළියට ණය ලබාදීමට ද අමාත්‍යවරයා යෝජනා කර තිබේ. උපාධිධාරීන් රජයේ සේවයට බදවා ගැනීම මාර්තු පළවනදා සිට ආරම්භ කරන බව අද මාධ්‍ය හමුවේදී අනාවරණය කළේ ය. මේ අතර පසුගිය රජය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවකට අදාළව කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙන නැතැයි කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ. ඒ අනුව පසුගිය රජය විසින් ආරම්භ කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවිම සඳහා වන යෝජනාවකට ද කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි, සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. විදේශීය සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ආයතන ආයෝජන ව්‍යපෘති සඳහා නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට ද රජය සැලසුම් කර තිබේ.