කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 17ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 17ක් දක්වා ඉහළට

by Staff writer 23-01-2020 | 10:15 PM
COLOMBO (News 1st) : චීනය ඇතුළු ලොව රටවල් රැසක පැතිර යන නව කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 500කට අධිකයි. කොරෝනා වෛරසය තවදුරටත් පැතිරයාම වැළැක්වීමේ අරමුණින් එහි ඇරඹුම වාර්තා වූ චීනයේ වූහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව නතර කිරීමට ද චීන බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ අනුව බලධාරීන් වුහාන් පළාතේ ජනතාවට දැනුම් දෙන්නේ නගරයෙන් පිටතට නොයන ලෙසත් , පිටත සිටින පුද්ගලයින්ට නගරයට ඇතුළු නොවන ලෙසයි. වුහාන් පළාතේ මේ වනවිට ජීවත්වන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි. කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර නොමැත. මීට පෙර සීකා , ඉබෝලා යන වෛරස සහ කුරුලු උණ පැතිරයාම හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ ය.